A credit to the government from Ajith Rohana

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දීර්ඝ කාලයක් පුරාවට මෙම පනත ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබූ බවත්, 2002 වසරේදී ද තමා මේ සඳහා දායක වූ නමුත් මෙය සම්මත කරගත හැකි වූයේ පසුගිය 2025 වසරේදී බවද ඔහු කියා සිටියා. ලංකාව තුළ පමණක් නොව වෙනත් රටකදී මෙම පනත යටතේ වරදක් සිදු වුවහොත් ලංකාවේ අධිකරනයක නඩු පැවරීමට හැකියාවක් ඇති බවත් ඔහු සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ, “මම දැක්ක අපේ පාර්ලිමෙන්තුව හදපු හොදම, අතිවිශිෂ්ටම නීතිය තමයි අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත… මේ පනත හදන්න ඉස්සෙල්ලා වුණත් අපරාධයකින් උත්පාදිත දේපළ තියෙනවා නම් ඒවා පිළිබවඳව වුණත් කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.අනිත් එක ලංකවේ විතර නෙවෙයි ලංකාවෙන් පිට තැනකදි මේකෙන් වරදක් වුණත් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට, ඒ වගේම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරපු නැවක, යාත්‍රාවක, ගුවන් යානයක, ශ්‍රී ලංකාවේ එම්බසි එකක් මේ වරද කරනවා නම් ලංකාවේ අධිකරනයක ඒවාවලට නඩු පවරන්න පුලුවන්. ඉතින් අධිකරණ බල සීමාවත් ඉතා විශාලයි, නඩු පැවරීමේ බල සීමාවත් ඉතා විශාලයි. 1929 තිබිච්ච එක පනත දැන් පනත් 7ක් බවට පත්වෙලා තියෙනවා…”
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි. තවත් සැකකරුවන් හතර දෙනකුට අත් හිටවූ සිර දඬුවම් නියම වූ අතර 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. මරණ දඬුවම් නියම වූ සැකකරුවන් 12 දෙනක්ගෙන් එක් සැකකරුවකු දැනට අධිකරණය මඟහැර සිටියි. මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යනමහත්වරුන්ගෙන් සැදුම් ලත් ත්‍රිපුදගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාගය ගැණුනි.
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත. ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කතානායකවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වන පළමු අවස්ථාව මෙයයි. වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කතානායකවරයාට විරුද්ධව අල්ලස් කොමිසමට පසුගියදා පැමිණිල්ලක් කළේය. කුලරත්න මහතා කතානායකවරයාට විරුද්ධව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත. නීති විරෝධී ලෙස වාහන අවභාවිතය, ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය, නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීම සහ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම, නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ සහ වංචා ක්‍රියා යටපත් කර ගැනීමට උත්සාහ දැරීම , පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම, ඔහු එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති චෝදනාය. කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දැක්වූහ. මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාට එරෙහිව පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාවද අල්ලස් කොමිසමට බාරදී ඇතැයි වාර්තාවේ.
ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගීවූ අග්‍රාමාත්‍යවරිය අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියාය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු විවාදයට එක්වීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය. “ජනාධිපති අයින් කරගන්න බැරි වුණා. අඩුම තරමේ අගමැති අයින් කරන්න උත්සාහ කළා නේ. කෝ ඉතින්. මං මේ අද උදේ ඇවිල්ලා දුවගෙන ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න. මං ඒක එනකම් බලාගෙන ඉන්නේ. ගේන්නේ නැද්ද?. අපරාදේ. අපි ලෑස්තිවෙලා හිටියේ.” “විශ්වාසභංග යෝජනාව ඔබතුමාලා ගෙන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව තීරණය කළාම අගමැති වෙනස් වෙන්න ඕනේ කියලා..අපි ගෙදර යන්නත් සූදානම්. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. ඒ අනුව අපි වැඩ කරගෙන යන්නම්.”
රජය සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කරන්න හදන්නේ යෞවන සමාජවලට පැලවත්තෙන් නම් ලිස්ට් එක යැව්වා වගේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරනවා කියා අද ක්‍රියාත්මක කරන අනපනත් එදා ජනතාවට පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ද කියා ප්‍රශ්න කරන බවත් මේ නව අනපනත් හරහා පීඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත් කරන ක්‍රමවේදය 49 සහ 51 වැනි වගන්තිය තුළින් පෙන්වා දෙන නමුත් උපකුලපතිවරුන් පත් කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ කොමිසමේ සාමාජිකයන් පත් කිරීම සහ කවුන්සිල් සාමාජිකයන් මෙන්ම අධ්‍යයක්ෂවරුන් පත් කිරීම ගැන සඳහන් නොමැති බවත් මේවාට බලපෑම් නොකර අංශාධිපතිවරුන් සහ පීඨාධිපතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදය තුළ සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ගැනීමට රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් අදහස් පල කරමිනි. university governance autonomic accountability directions of change වාර්තාවේ එක් කර්තෘවරියක් වන්නේ වත්මන් අගමැතිවරිය බවත් මේ වාර්තාවට අනුව හරිනි අමරසූරිය අගමැතිතුමිය එවකට FUTA එකේ අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීමේ ව්‍යාපාරයේ පුරෝගාමියා ලෙස උපකුලපතිවරයා පත් කිරීමේ සිට සියලු දේම නිර්දේශපාලනීකරණය විය යුතු යැයි එදා පැවසුවත් අද ඇයම උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස මේ දේ අද ක්‍රියාත්මක නොකරන බවත් 2015 හරිනි අමරසූරිය මහත්මිය උපකුලපතිවරයා පත් කිරීම ඇතුළු සෑම දේ නිර්දේශපාලනීකරණය මෙන්ම කුසලතාව මත සිදුවිය යුතු යැයි කිව්වත් 2026 වන විට අගමැතිවරිය සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස වෙනස් කර අමුතු ක්‍රමයේ වෙනසක් ඇති කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එදා ප්‍රජාතන්තවාදය ගැන කතා කළ හරිනි අගමැතිතුමිය අද විශ්වවිද්‍යාල පද්ධතියට ඒකාධිපතිවාදය ගේනවා මේ හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධිනත්වය නිදහස සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බවත් විශ්වවිද්‍යාලවල මහාචාර්ය අයිවර් ජෙනිස් ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩල සංකල්ප අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් කවුරු මොන කතා කිව්වත් එදා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ හරිනි අමරසූරිය මහත්මිය අද විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ්කාධිපතිවාදය ඇති කරන්න කටයුතු කරන්නේ කොහොමද කියා පහදන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය. විශ්වවිද්‍යාල පද්ධතියේ අඩුපාඩු රැසක් තිබෙනවා අද වන විට විශ්වවිද්‍යාල පද්ධතියට හරියට අරමුදල් ලබා නොදෙන බවත් සෑම විශ්වවිද්‍යාලයකම Academic මෙන්ම Non Academic පුරප්පාඩු රැසක් ඇති බවත් බුද්ධි ගලනයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් බරපතල ලෙස ඩිජිටල්කරණය ඇනහිට ඇති බවත් ආයතනික නිදහස ආයතනයේ ස්වාධිනත්වය විනාශ වී ඇති බවත් සිසුන්ට අවශ්‍ය නේවාසික සම්පත් භෞතික සම්පත් නැති මොහොතක මෙවැනි යෝජනා ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. අද UGC සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා UGC එක කොයි තරම් ඒකාධිපති ලෙස ක්‍රියාත්මක වන්නේ ද කියා කියනවා නම් 2026 මේ පනත අනුමත වෙන්නට පෙර UGC සභාපතිවරයා විසින් උපකුලපතිවරුන්ට පවතින නිතිය තුළ පත් කිරීම් නවත්වන ලෙස නියෝග කරන බවත් අලුත් නීතිය යටතේ ක්‍රියාත්මක වන ලෙසත් රටේ පවතින නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බවත් මෙය රටේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද අපහාසයක් මෙන්ම අනීතික නීතියක් බවත් මෙය රටේ අණපනත් හෑල්ලුවට ලක් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේක තනිකර ඒකාධිපතිවාදය ස්ථාපිත කිරීමක් මේකත් හරියට සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ කමිටුවලට යෞවන සමාජවල සාමාජිකයන් යවන්න පැලවත්තෙන් නම් ලැයිස්තු යැව්වා සේ විශ්වවිද්‍යාලවල ද පත් කිරීම් කරන්නට උත්සාහ කරන ඒකාධිපතිවාදයක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව පැවසුවේ ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව ලෝක කාන්තා මන්දිරයේදී පැවැත්වූ World Woman Davos Agenda 2026 සඳහා ඊයේ (21) සහභාගී වූ අවස්ථාවේදීය. එහිදී “වෙනස්වන ලෝකයට නායකත්වය දෙන කාන්තාවන් (Women Leading the Changing Global Order)” යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරිය සිය දේශනය සිදුකර තිබුණි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතු බවය. අග්‍රාමාත්‍යවරිය, ලොව පුරා කාන්තාවන් දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සිටින නමුත්, කාන්තාවන් වැටුප් නොලබමින් සිදු කරන රැකබලා ගැනීමේ කටයුතු, අවිධිමත් ශ්‍රම දායකත්වය සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඔවුන් ලබා දෙන දායකත්වයන් තවමත් සමාජය හඳුනා ගෙන නොමැති බව එහිදී පවසා සිටියා ය. තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, “දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන විට, තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ; එය කලක් තිස්සේ පවත්වා ගෙන යන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්. නායකත්වය ලබා දෙන කාන්තාවන්ට, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්, හිරිහැර, අපහාස සහ ආන්තිකකරණය නිසා එල්ල වන ප්‍රහාර නිසා බොහෝ විට නායකත්වයෙන් ඉවත් වීමට හෝ ඉන් වැළකී සිටීමට කටයුතු කරනවා. මෙම බාධකවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම කියන්නේ හුදෙක් ආරක්ෂාව පිළිබද දෙයක් නොවේ. එය, කාන්තාවන්ට සිය ස්වාධීනත්වය, අධිකාරිය සහ විශ්වාසය සමඟ නායකත්වය ක්‍රියාත්මක කළ හැකි පරිසරයන් නිර්මාණය කිරීමේදී ආයතනික සහ බල ව්‍යුහයන්හි පරිවර්තනයක් කිරීම හරහා සිදු විය යුතු දෙයක්. දේශපාලන කැපවීම එහි ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සමඟ සමපාත වූ විට කළ හැකි දේ ශ්‍රී ලංකාව පෙන්නුම් කරලා තිබෙනවා. එයට හොඳම නිදසුන ලෙස පළමු වරට, කාන්තාවන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් අපගේ වත්මන් රජය යටතේ දේශපාලන නියෝජනයේ ඓතිහාසික ප්‍රගතියක් ලබලා තිබෙනවා. එයින් පිළිබිඹු වන්නේ ඒ දැක්ම ඉදිරි දර්ශනයකට පමණක් සීමා වී නොමැති බවයි. සියල්ල ඇතුළත් පාලනයක් කරා නව රජයේ කැපවීම එයින් පිළිබිඹු වෙනවා.” නායකත්වය යනු පවතින අසුන්වලට සීමා වීම පමණක් නොව, පවත්නා පද්ධතින් ප්‍රතිව්‍යුහගත කිරීම බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය. ස්ත්‍රීවාදී, අන්තර් නායකත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍යවරිය නැවත තහවුරු කළ අතර, කාන්තාවන් සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන් සහභාගිවන්නන් පමණක් නොවන බවත්, අනාගත ලෝකය හැඩගස්වන ප්‍රතිපත්තිවල ප්‍රධාන නිර්මාණකරුවන් බව පවසා සිටියා ය.